ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ කොට්ඨාසයට අයත් බප/ ගම්/ වේරහැර බණ්ඩාරනායක මහ විද්‍යාලය නමින් හැඳින්වෙන අප විද්‍යාලයේ ආරම්භය 19 වන සියවසෙහි අවසාන කාල පරිච්ඡේදය තරම් ඈතට දිවයන්නකි . ක්‍රි. ව 1880 දශකයේ මුල් භාගයේ මෙම විදුහලෙහි මුල් පිහිටුවීම සිදුවූ බව අපට දැනට දක්නට ලැබෙන වාර්තා වලින් පැහැදිලි වේ . අප විදුහලෙහි සේවය කළ විදුහල්පතිවරු ගුරුවරු හා ආදි ශිෂ්‍යයන් විසින් ලියා දක්වා ඇති ලේඛන වලින් විදුහලෙහි ආරම්භය පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් දැකිය හැක. එම තොරතුරු වල යම් යම් වෙනස්කම් දක්නට ලැබුනත් සියළු වාර්තාවන් සාරාංශ කරගත් විට විදුහලෙහි ඉතිහාසය පිළිබඳ සත්‍ය තොරතුරු රැසක් අනාවරණය කරගත හැක.
අප විදුහලෙහි ආරම්භය පිළිබඳව ආදි ශිෂ්‍යයකු වන සමරසිංහ මහතා තබන ලද වාර්තාවට අනුව මෙසේය.
වේරහැර ගමේ පාසලක් ඇති කිරීම සඳහා එවකට ගමේ පොළිස් විදානේ වන ඩබ්. ඩී. සිමා නැමැති අයගේ මූලිකත්වයෙන් 1880 දශකයේදී බෙලිමුල්ලේ ආරියවංශ නම් අයෙකු මැනේජර් වශයෙන් මෙම පාසල පිහිටුවන ලද්දේ කේ. ගුණරත්න මහතාගේ පියා හට අයත් ඉඩමකය. ගැහැණු පිරිමි පාසල් දෙකක් පැවතුන අතර පිරිම් පාසලේ මුල් ගුරුතුමා වූයේ යාගොඩ, එම්. එම්. ප්‍රනාන්දු මහතායි. පාසල රජයට පවරාගන්නා තුරු ගුරුවරුන් හට ආහාර පාන සහ ආධාර මුදල ගෙවුනේ ගම්මුන්ගේ සහායෙනි .
1920 මුලදී එම්. එම්. පුනාන්දු මහතා වෙනුවට පුහුණු ගුරුවරයෙක් වූ ඩි. ජේ. හතුරුසිංහ මහතා මුල් ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා ආවේය . අලුත් පාසල් ගොඩනැගිල්ල රජයෙන් සාදා ගෙවදීම සිදුවූයේ 1926 වර්ෂයේදීය. 1932 දී පමණ ප්‍රාරම්භ පන්තියක් පිහිටුවන ලදී.
වර්තමානයේ විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර සිසු සිසුවියන් 495 දෙනෙකු අධ්‍යාපනය ලබති.
දොම්පෙ කොට්ඨාසයේ ඉතා අගනා පාසලක් වන මෙහි ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්තකාලයක් ,පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයකින් යුක්තය. මෙහි සිසුන් ක්‍රීඩා ,සෞන්දර්යය ,භාෂා ආදී විවිධ කේෂත්‍ර ඔස්සේ දක්ෂතා දක්වන අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හා අ.පො. ස. සා.පෙළ විභාගයෙන් ද දස්කම් විදහා දක්වති.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 28 ක් වන අතර,සංවර්ධන නිලධාරීන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය 06 කින් සමන්විතය. සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "මානව දයාවෙන් පිරි නිර්මාණශීලි දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යයන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2026 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.






